අපගේ දැක්ම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා සපයන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහයෝගීත්වයෙන් යුතු කාර්යක්ෂම තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් හම්බන්තොට ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.දළ විශ්ලේෂණය
ශ්‍රී ලංකාවේ දකුණු ලක වෙරළ තීරයේ මනරම් ප්‍රදේශයක පිහිටි ස්වභාව සෞන්දර්ය අතින් විවිධත්වයක් උසුලන දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හැදින්විය හැකිය.කටුක දේශගුණයක් පවතින ප්‍රදේශයක් ලෙස මෙම දිස්ත්‍රික්කය සැලකුවද, ලුණු මිදීමට තරම් වියළි බවක්ගෙන දුන්නද , තේ වගාවට යෝග්‍යවු දේශගුණික තත්ත්වයක් ද මෙම දිස්ත්‍රික්කයේ පවතී.
මෙවැනි දේශගුණික විවිධත්වයක් ඇති මෙම දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 12කින් සමන්විත වන අතර, හම්බන්තොට නගරය වැදගත් කම මත එය මුලික කොට සකස් වි ඇත. හම්බන්තොට නගරයට එම නම ලැබීම ඓතිහාසික කරුණු මත සිදු වී ඇති බව පෙනේ.මෙම දිස්ත්‍රික්කයට හම්බන්තොට යන නම නිර්මාණය වීම පිළිබද විවිධ ජනප්‍රවාද පවතී.එක් මතයක් නම්,හබන් නැමැති මුහුදු යාත්‍රා පැමිණි තොට නමින් නිර්මානය වු බවයි.තවත් මතයක් නම් ක්‍රි.ව 14— .36 ගජබා රජු විසින් සොළීන් විසින් ගෙන යන ලද සිංහලුන් වෙනුවට සොළීන් පිරිසක්ද කැටුව ගොඩබසින ලද්දේ මෙම තොටු පලින් යැයි ද ඔවුන් රැගෙන ආ යාත්‍රා විශේෂය නමින්, හම්බන්තොට යන නම බිහි වී යයිද තවත් ජනප්රවාදයේ පවතී.
එසේ නමුත් ,මුහුදු පරිවහනයේ දී යාත්‍රා නවත්වන ආරක්ෂිත ස්ථානයක් ලෙස මෙම තොටුපලට පැමිණි බවත් , විශේෂයෙන් මැලේසියානුවන් මෙහි පැමිණි තොටුපල නිසා මෙම තොටුපල හම්බන්තොට නමින් ප්‍රසිද්ධ වු බවත් , මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අදහස් පල කරති. මෙලෙස ජනාවාස වූ නගරය පෘතුග්‍රීසීන්ගෙන් ලන්දේසීන් අතරට පත් වූ අතර ,ලන්දේශීන්ගේ ගාල්ලෙන් නැගෙනහිර සේනාංක රදවන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට භාවිතා කොට ඇත. විශේෂයෙන් හම්බන්තොට තිබෙන ලුණු ලේවාය හේතුකොට ගෙන උඩ රට රජු අවනත කර ගැනීමේ මාර්ගයක් ලෙස මෙහි මැලේ රයිපල් රෙජිමේන්තුවක් පවත්වා ගෙන ගිය බවත් සැළකේ.
පසුව බ්‍රිතාන්‍ය යුගයේදී මෙම නගරය නාගරික ජනාවාසයක් ලෙස දියුණු වී ඇති අතර නාවික වරායක් වශයෙන් ප්‍රසිද්ධව පැවැති බවත්, වෝකර් පුත්‍ර සමාගම සෑම මසකම භාණ්ඩ නැව් කිහිපයක් මෙම තොටුපලින් යැවු බවත්, බ්‍රිතාන්‍ය වාර්තාවල සදහන් වේ. ඒ අනුව සීග්‍රයෙන් නාගරික පහසුකම් වලින් සමන්විත වු මෙම නගරය පරිපාලන නගරයක් ලෙස සංවර්ධනය වී වර්තමාන තත්ත්වයට පත්ව ඇත.
මෙම දිස්ත්‍රික්කයේ පවත්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 න් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය හම්බන්තොට නගරය කේන්ද්‍ර කොටගෙන පිහිටා ඇත. විශාලත්වය වර්ග සැතපුම් 124.5 ක් විශාල වු මෙම කොට්ඨාසයේ ග්‍රාම නිළධාරී වසම් 30 ක් පවතින අතර ගම් ඒකක 97ක් පවතී. දර්ශනීය මුහුදු තීරයකින් , ඓතිහාසිකව වැදගත් වන ගොඩවාය හා බඳගිරිය වැනි ස්ථාන වලින්ද බූන්දල වනජීවී කලාපයෙන් ද , සමන්විත මෙම කොට්ඨාසය ලංකාවේ ප්‍රධාන තම ලේවාය වන හම්බන්තොට ලේවායෙන්ද සමන්විතව ඇත .
එසේම ලන්දේසි ඉංග්‍රීසි පාලන සමයේ දීද කේන්ද්‍රස්ථානයක් වු හම්බන්තොට නගරය සුවිශේෂ වු ගෘහ නිර්මාණාත්මක ගොඩ නැගිලි පුරා විද්‍යත්මක වටිනා කමකින් යුතු දර්ශණීය ස්ථාන වලින්ද යුක්තය. එනම් මාටෙලෝ කුළුණ ,එල්ලුම් ගස ,ප්රදිපාගාරය, කච්චේරිය ,ඓතිහාසික සුසාන භුමියක්ද ඉන් විශේෂ තැනක් හිමි කර ගනී. නගරයෙහි භුවිෂමතාවයෙහි කැපී පෙනෙන ඉතාමත්ම වැදගත් ලක්ෂණයක් වන්නේ ඓතිහාසික කච්චේරි සංකීර්ණය පිහිටා තිබෙන ප්‍රදේශයේ වෙරළ හා බැදි පවතින මීටර් 18 ක් පමණ උස් වු කදුගැටයයි. හම්බන්තොට නගරයේ උසම ස්ථානය වන්නේ මෙම ප්රදේශයයි.
මෙම හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හම්බන්තොට නගර සභාව සහ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ අඩක පමණ ප්‍රදේශයක් අයත් වන අතර ,ඊට අදාළ ග්‍රාම නිළධාරී වසම් පිළිබද විස්තර පසුව දක්වා ඇත. ඉන් හම්බන්තොට (නැ.) හා හම්බන්තොට (බ. )යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙන් පමණක් නගර සභාව සමන්විතය. හම්බන්තොට නගර සභාව බිහිවී ඇත්තේ 1945වර්ෂයේ මැතිවරණයෙන් පසුවය. ඊට පෙර මෙය සනීපාරක්ෂක මණ්ඩලයක් ලෙසට ක්‍රියාත්මක විය.194 5 නගර සභා නියෝජිතයන් 07 ක් තේරී පත්වී ඇතිඅතර ,සභාපති වුයේ ටී.කේ බුරා මයාය.
මෙතෙක් නගර සභාවකට හා ප්‍රාදේශීය සභාවකට සිමා වු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය 2011 ඔක්තෝමිබර් මස සිට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොටිඨාශය තුල මහ නගර සභාවක් බවට පත් විය. එහිදි ග්‍රාම නිලධාරි වසම් 07 ක් මහ නගර සභාවට අයත් වු අතර ප්‍රාදේශීය සභාවට ග්‍රාම නිලධාරි වසමි 30ක් අයත් විය.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඩී.එස්.පත්මකුලසූරිය මහතා | 2006.02.02 | 2008.02.15 |
| ගනේෂ අබේසිංහ මහතා | 2008.02.15 | 2011.08.08 |
| පී.අමරසිංහ මහතා | 2011.08.08 | 2011.12.05 |
| අයි.ලියනගම මහතා | 2011.12.05 | 2013.08.08 |
| වයි.කේ.ශිරෝමි ජීවමාලා මහත්මිය | 2013.08.08 | 2015.04.09 |
| ඊ.කේ.ඒ.සුනීතා මහත්මිය | 2015.04.10 | 2019.08.07 |
| කෞශල්‍යා ගලප්පත්ති මහත්මිය | 2019.11.25 | 2024.03.13 |
| ජී.සී.ආර්.විජේවර්ධන | 2024.03.14 | මේ දක්වා |














